සතුන් වන්ද්‍යකරණයට අමතරව ගොවිබිම් තුළදීම වෙඩි තැබීමට සැලසුමක්...

Animals Farm
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

වගා බිම්වලට හානි කරන රිලව් ඇතුළු සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට දරන උත්සාහයට පරිසර සංවිධාන දැඩි විරෝධය පල කරනවා. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ වගා බිම්වලට හානි කරන බව පවසමින් වල් ඌරා, රිලවුන්, වඳුරන්, මොනරුන් හා ඉත්තෑවන් වැනි සතුන්ගේ ගහණය අඩු කිරීමටයි. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසන්නේ වගා බිම්වලට හානි කරන රිලව් ඇතුළු සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට අමතරව ඉත්තෑවන්, වල් ඌරන් ආදී සතුන් ගොවිබිම් තුළදීම වෙඩි තැබීමෙන් මියයාමට සිදුවන පරිදි සැලසුමක් සකස් කරන බවයි. ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද කටයුතු යොදා ඇතැයි ලේකම්වරයා සදහන් කලා.

කෙසේ වෙතත්, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පැවසුවේ වන සතුන්ගෙන් වගා හානි සිදු වන්නේ දිගින් දිගටම සිදුවන පරිසර විනාශය හේතුවෙන් බවයි. ලොව වෙනත් රටවල සතුන් වන්දකරණය වෙනුවට වෙනත් විකල්ප ඕනෑ තරම් ඇති බවයි එහි ජාතික සංවිධායක රවීන්ද්‍ර කාරියවසම් කියා සිටියේ. මෙරට වනාන්තර පද්ධතිය සියයට 24ක් දක්වා ඉහල නංවා පවත්වා ගැනීමෙන් මෙවැනි පාරිසරික ගැටළුවලට පහසුවෙන් විසඳුම් සොයා ගතව හැකිව තිබියදී ගන්නා මෙවැනි තීරණ හේතුවෙන් ඉදිරියේදී ගැටළු රැසක් මතු විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා. මේ අතර තරුණ සත්වවේදීන්ගේ සංගමය ද කියා සිටියේ ආණ්ඩුව මෙලෙස සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට තීරණය කර ඇත්තේ එම සතුන්ගේ ගහණය පිළිබද නිවැරදි දත්ත හෝ නිවැරදි සමීක්ෂණයකින් තොරව බවයි.

මේ අතර රිළවා, ඉත්තෑවා, වල් ඌරා ආදී සතුන් වගා බිම්වලට දැඩි හානියක් සිදුකරන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම සතුන්ගෙන් සියයට 20 ත් 25 ත් අතර අස්වනු හානියක් සිදුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදහසයි. එබැවින් වගාවලට හානි කරන සතුන්ට වඳපෙති ලබාදී වන්ද්‍යකරණය කිරීමට නියමිත බවයි වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පැවසුවේ. ඇතැම් සතුන් කූඩුවලට කොටුකර රක්ෂිත කලාපවලට මුදාහැරීමට ද නියමිතයි. කෙසේවෙතත් මේ සඳහා සය පුද්ගල කමිටුවක් පත් කෙරෙන අතර, අදාළ කමිටු නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.