වෙසක් කූඩු

Wesak Lantern

Wesak Lantern

අද වෙසක් කූඩු හදන්න පටන් ගත්තා. කාලෙ සල්ලි වලින් මනින කාලෙක වෙසක් කූඩු හදන්න කාලෙ හොයා ගන්න එකත් අමාරු දෙයක් තමයි. ඒ උනත් මගෙ පුංච් පුතා ලෝ‍කෙ අදුන ගන්න කාලෙදි අපේ සංස්කෘතියේ හැම දෙයක්ම ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕනෙ කියන එක මම තදින් විශ්වාස කරනවා.
ලේසි වැඩේ කඩෙන් කූඩුවක් ගේන එක තමයි. ඒ ලේසිය අස්සෙ අපේ ඇත්තො අමතක කරන දෙයක් තියෙන‍වා. ඒ තමයි අපේ ජාතිය කලාවට සමීප කරන එක දෙයක් තමයි වෙසක් කුඩුව කියන්නේ. අවුරුද්ද කෙළි සෙල්ලමෙන් ගත කරන සිංහලයා වෙසක් කාලෙත් එක්ක බොහොම ඉවසීමෙන් එක තැනක ඉදන් ලස්සන ලස්සන කැටයම් දාපු වෙසක් පහන් හැදුවා. මම පහන් කි‍ව්වෙ ඒ කාලෙ ගොක් කොල පාවිච්චි කරපු නිසා. අද ඒ ලස්සන ගොක් කොල කැටයම් කරන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නවත් පුලුවන්ද? ඊට පස්සෙ කඩදාසි කූඩු ආවා. බාගයක් සල්ලි වලට. ඒත් කලාව ජාන වලින් අරන් ආව අපේ අය අලුත් අලුත් නිර්මාණ කලා. ‍වෙසක් කූඩුවක් හදද්දි සිංහලයා කලා‍වට අමතරව ඉවසීමත් ප්‍රගුණ කල බව මම ආයෙත් මතක් කරනවා.
කොහොමින් හරි මනුස්සකමත් රුපියල් සත වලින් මනින යුගේ ආවා. වෙසක් කූඩුවට මිලක් නියම උනා. හරිම ලේසියි, ලස්සනයි, සල්ලි දුන්නා ගත්තා එල්ලුවා. හැබැයි ‍ඒ කාලෙදි අපේ ඇත්තො ඒකෙන් ලබපු සතුට (පින) අද ලැ‍බෙනවද? ඒ කාලෙ හැමෝම එකතුවෙලා හදපු මහා කූඩු අද හදන‍්නෙ මුදලාලිලා. පෝලිමේ ඉදලා පොඩි? ගානක් ‍ගෙවලා ඇතුලට ගිහින් බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න පුලුවන්. සමහර තැන්වල ටිකට් නෑ ආධාර විතරයි. අලුත්ම සින්දු බණ එකතු කරලා (සමහර විට ඒකෙ අනිත් පැත්ත) කිව්වම හුගක් සල්ලි ලැබෙනව.
අනික මේ කූඩු හැදුවෙ විනාශ වෙන දේවල් වලින්. පරිසරය ගැන කියනවා නෙවේ, වෙසක් කූඩු වැස්සෙන් හේදිලා අව්වට කරවෙලා විනාශ වෙනකොට සිංහල ‍බොදුනුවා සංසා‍ර ගමන ඒ දිහා බලලා මෙනෙහි කලා. ඇතිවන සියල්ල නැති වෙන සුලුයි. සබ්බේ සංස්කාරා අනිච්චා.
අද? කුඩුවට පිටින් පොලිතින් දානවා. අනේ වැස්සට තෙමෙන‍වට. ලෝබයි. කොහොම හරි පරිස්සම් කර ගත්තොත් එන අවුරුද්දෙත් පාවිච්චි කරතෑකි, සල්ලිත් ඉතිරියි.
මේක ෆැන්ටසියක් නෙමේ. හෙට අනිද්දා අපි ‍ඉටිකොල කූ‍ඩු ගෙන්නනවා චීනෙන්. හැම අවුරුද්දෙම වෙසක් එකට එලියට අරන් පාව්ච්චි කරනවා. ඊලගට අපි ලේසර් හොලොග්‍රෑම් කූඩු ගේනවා. ඉඩක් යන්නෙත් නෑ, වෙලාවකට අටපට්ටම ඊලගට තරුව…..
ඇත්තටම අපි යන්නෙ කොහෙටද? වෙලාවකට මටම හිතාගන්න බෑ. මගෙ බ්ලොග් එක කියවලා මගේ ලෝකෙ අදුන ගන්න උත්සාහ කරන ඇත්තො හිතාවි ඒක හුගක් පටුයි කියලා. ඒත් මොනව කරන්නද මේ මගේ ලෝකෙ වෙච්චි කොට?

Leave a comment